Home

සිරි වජිරාරාම පුස්තකාලය
Siri Vajirārāma Library

අපාරුතා තෙසං අමතස්ස ද්වාරා / Apārutā tesaṃ amatassa dvārā

(අමා දොර විවෘත කර ඇත / Open are the doors to the deathless)

1924 ජුලි මස 15 වන දින අතිපූජ්‍ය පැළෑණේ සිරි වජිරඤාණ මහානායක ස්වාමීන් වහන්සේ වජිරාරාම පුස්තකාලය යටත්විජිත ලේකම් සිසිල් ක්ලෙමන්ට් මැතිතුමා විසින් නිල වශයෙන් විවෘත කරන ලද අවස්ථාවේ දී කළ කතාව.

බම්බලපිටිය සිරි වජිරාරාම පුස්තකාලයේ ආදි කර්තෘවර අතිපූජ්‍ය පැළෑණේ සිරි වජිරඤාණ මහ නා සමිඳු

(උපුටා ගැනීම: සිංහල බෞද්ධයා ජූලි 26, 1924)

“රටේ උගත්කම හා සුචරිතය දියුණුවීමට අතිශයෝපකාරී වූ කටයුත්තක් ආරම්භ කිරීම පිළිබඳ අපේ මේ තුෂ්ටිදායී ප්‍රස්තාවයෙහි අපට අනුබල දීමට ඔබතුමාණන් මෙහි පැමිණීම අපි ඉතා අගය කොට සලකමු. එමෙන් ම ඒ ගැන අපේ අවංක වූ සාදර ස්තුතිය ද පිරිනමමු.
මේ ප්‍රස්තාවයෙහි විස්තර කටයුතු කරුණු බොහෝ වෙතත් එයින් ස්වල්පයක් ලුහුඬින් ප්‍රකාශ කරමි. දැන් ඔබතුමාණන් විවෘත කරන්නට යන පොත්ගුල පිළිබඳ සංක්‍ෂේප විවරණයක් කිරීම විශේෂයෙන් ම මෙහි ප්‍රස්තාවෝචිත වේ. මෙහි තැන්පත් කොට තිබෙන දෙදහසක් පමණ වූ පොත් පත් මේ මොහොත දක්වා මගේ පෞද්ගලික වස්තුවක් මෙන් පැවැති නමුත් මින් ඔබ්බට එය පොදු ජනතාවටත් ප්‍රයෝජන ගත හැකි සේ ප්‍රසිද්ධ පොත්ගුලක් මෙන් විවෘත කරවීම මගේ අදහස වේ.
මීට අවුරුදු විස්සකට පමණ පෙර හෙවත් මා විද්‍යෝදය පිරිවෙනේ ඉගෙනීම නිමවා එයින් අස්වූ කාලයෙහි මා වෙත පොත් සියයක්වත් නොතිබුණු නමුත් පොත්පත් කියවීමේ ආශාව නම් දැඩිව පැවැතුණේ ය. එබැවින් නොයෙක් දෙනාගෙන් ණයට පොත් ඉල්ලාගෙන කියවන්නට යෑමේ දී මට විඳින්නට වූ ගැහැට ඉතා බොහෝ ය. තවත් ලොකු අමාරුවක් ව පැවැත්තේ බොහෝ පන්සල් පොත්ගුල්වල බණ පොත් හැර වෙන පොත් ඉතා තුනී මතින් ඇති බව ය. සමහර තැනක තුබුණත් ඒවා දැකගැනීම පවා ඉතා අමාරු විය. එබැවින් පොත්පත් සපයන්නට සිතට ගතිමි.
සාමාන්‍යයෙන් බෞද්ධ භික්‍ෂුවක් මුදල් සැපයීමෙන් හා ගනුදෙනු කිරීමෙන් තොරවූද, නොනෑ නොපැවරුවකුගෙන් යම් යම් දේ ඉල්ලන්නට අවසර නැත්තාවූ ද පැහැදුණු දායකයන් විසින් සිය කැමැත්තෙන් ම දුන් දෙයකින් සහ නෑදෑ කැපකරු පිරිසගෙන් ලැබෙන ස්ථිර නියමයක් නැති, ඇතැම් විට ලැබෙන බොහෝ විට නොලැබෙන ලැබිීම්වලිනුත් සියලු ඕනෑ එපාකම් පිරිමසා ගතිමි. රටුන්ට අමාරුවක් දැනීමක් නොවන සේ කල්යැවීමට බැඳීසිටින්නා වූ ද රැකීරක්‍ෂාවක් හෝ වගකියන්නට බැඳීසිටින කෙනෙකු නැත්තා වූ ද, ධනය අතින් බලතොත් පෞද්ගලික වශයෙන් කිසි වටිනාකමක් නැත්තා වූ ද, ජීවිතයක් ගෙවන්නකු බැවින් මේ තත්ත්වයේ සිටින්නකු වූ මට මේ කටයුත්ත ඉතා අමාරු එකක් විය.
එසේවී නමුත් මගේ පියාණන්ගේ පොත්පත් නිරවුල්ව මට ලැබුණු බැවින් ද මුල හරියේදී මගේ සහෝදරයන් හා මෑණියන් විසින් අගනා පොත් රැසක් සපයා දුන් බැවින් ද මගේ පොත්ගුල ක්‍රමයෙන් වැඩෙන්නට වන. ඒ අතරට මා තුළ පොත් ගැන තිබෙන බලවත් ළැදිකම දැනගත් නොයෙක් පළාත්වල සාමාන්‍ය බෞද්ධයෝ ද, නෑදෑයෝ ද, මේ ස්ථානයේ දායක පිරිස ද, නොයෙක් විට මට පොත්පත් සපයා දුන්හ. වැදගත් උගත් ක්‍රිස්තියානි මිත්‍රවරු දෙතුන්දෙනෙකුත් වටිනා සංස්කෘත ව්‍යාකරණ පොත් පඞ්ක්තියක් මගේ පොත්ගුලට පරිත්‍යාග කළහ. මගේ මිත්‍ර වූ ද, සබ්‍රහ්මචාරී වූ ද භික්‍ෂූන්වහන්සේලාත් නොයෙක් විට නොයෙක් පොත් මට පරිත්‍යාග කළහ.
මෑතක පටන් ලංකාණ්ඩුව වෙනුවෙන් ගරුතර මහලේකම් තුමාණන් විසින් මගේ පොත්ගුලට පරිත්‍යාගකර එවන ලද එඞ්ගලන්තයේ පාළි පොත් සමාගමේ පොත් පඞ්ක්තිය අනර්ඝ වූ රාජකීය පරිත්‍යාගයකිග එමෙන් ම අ`ඵතදී සියමේ ඔටුන්න හිමි කුමාරයාණන් විසින් මා නමට එවුණු ත්‍රිපිටක අට්ඨකථා පොත් කාණ්ඩ 27 ද ඉතා ම උසස් රාජකීය පූජාවකි. ලංකාවේ සත්කීර්තිමත් හේවාවිතාරණ පවුලේ සයිමන් හේවාවිතාරණ මහත්මයාගේ ධර්ම පූජාවක් හැටියට ත්‍රිපිටක මුද්‍රණ සභාවෙන් නිකුත් කරනු ලබන අට්ඨකථා සියල්ල ම පිළිවෙලින් මේ පොත්ගුලට ලැබීම ද මහත් ආධාරයෙකි.
මෙසේ පොත් ගණන ක්‍රමයෙන් වැඩෙත් වැඩෙත් ම මීට අවුරුදු කීපයකට පෙර මේවා පිළිවෙලින් තැන්පත් කර තැබීමට ස්ථානයක් නැතිකම ගැන මම සිත සිතා සිටියෙමි. එවකට මේ ස්ථානයේ ගොඩනැඟිල්ලක් හැටියට තුබුණේ අර පෙනෙන ධර්මශාලාව පමණකි. භූමියත් ඊට යට වූ සු`ඵ කොටස පමණක් විය. දේශනා කිරීමත් පොත් තබා ගැනීමත් අපේ වාසයත් දායක පිරිස ගේ වැඳුම් පිදුම් පැවැත්වීම ආදියත් එවකට එහි ම විය. මෙහි වන්දනීය ස්ථානයක් වෙන ම ඇති වියයුතු බව සලකා දායක මහතුන් විසින් අර පෙනෙන පිළිම ගෙයට යටවූ බිම් කොටස මිළයට ගත් පසු එහි කොල්ලුපිටියේ විවාහ රෙජිස්ට්‍රාර් තැන්පත් ඩබ්ලිව්. ආර්. ද අල්විස් මහතා විසින් ඒ ප්‍රතිමා ගෘහය කරවා පුදන ලදින් එක් අවහිරයක් මග හැරුණේ ය. ඊළඟට මේ ස්ථානයේ ප්‍රධාන දායක මහතකු ව සිටි කාලක්‍රියා කළ ඩබ්ලිව්. ජේ. සොයිසා මුදලාලි මහතා විසින් මේ භූමියෙන් ලොකු කොටසක් සිය මුදලෙන් ගෙන පුදන ලද්දේ ය. ඉන්පසු අනික් දායක පිරිස තව නොයෙක් පළාත්වල නොයෙක් දෙනාගෙන් ලැබුණු ආධාරත් ඇතිව ඉතිරි බිම් කොටස් ද මිළයට ගත්හ. මෙසේ ගොඩනැඟිල්ලකට පිරිමැසෙන පමණට භූමිය පිළියෙල වූ පසු දැනට ජීවත් ව සිටින මේ ස්ථානයේ දායක පිරිසෙන් ප්‍රධාන මහතා වූ ජී. ජේ. සිල්වා මහතා සහ එම මහත්මිය විසින් මහා ධනපරිත්‍යාගයෙන් මේ අගනා ගොඩනැඟිලි කරවා දුන් බැවින් දැන් මේ පොත් අවහිරයක් නැතිව තැන්පත් කරන්නටත් අපට පහසුවෙන් වාසය කරන්නටත් පුළුවන්කම ලැබී තිබේ. සිල්වා මහතාගේ මේ අගනා පරිත්‍යාගය බුද්ධශාසනයට පමණක් නොව පොදු ජනයාටත් ය. පොදු ජනයාට ප්‍රයෝජන ගත හැකි පොත් ගුලක් වන බැවිනි.
බෞද්ධ සිද්ධස්ථානයන්හි පොත්ගුල් වන්දනීය ස්ථානයන් ලෙස පවත්වනු ලබන බැවින් තව ටික කලක් යනතුරු මෙහි කියවීමට පැමිණෙන සාමාන්‍ය ජනයාට යම් යම් අවහිරයක් ඇති විය හැකි ය. නමුත් තව ටික කලකින් මීට යාව තිබෙන ඉඩම් කැබැල්ලක් මිළයට ගෙන එහි ඉඩකඩ ඇති කියවීම් ශාලාවක් තනන්නට අපේ දායක මහතුන්ගේ බලාපොරොත්තුව තිබෙන හෙයින් ඉන්පසු ඕනෑ ම කෙනෙකුට සුවසේ පොත් පත් කියවන්නට හෝ පිටපත් කරගන්නට හැකිවේ.
ඉදින් යටකී පරිදි ඉතා දුක සේ හෙමින් හෙමින් රටත් නොපෙළා සපයාගත් මේ පොත්ටික ලෝකයේ පොත්ගුල් දෙස බලනකල මෙවැනි ආරම්භයකට ප්‍රමාණ වේ ය යි හැඟේ. මේවා අතර සිංහල, ඉංග්‍රීසි, බුරුම, සියම්, අකුරුවලින් මුද්‍රිතවූ ත්‍රිපිටක පාළි හා අටුවාටීකාදිය ද, එසේ ම වූ පුස්කොළ පොත් ද, පාළි ව්‍යාකරණ සන්න ගැටපද පොත් රැසක් ද, සංස්කෘත ව්‍යාකරණ පොත් රැසක් හා භාෂාව පිළිබඳ පොත් ද කාව්‍ය නාටක ඡන්දෝලඞ්ංකාරාදිය හා වෛද්‍යනක්ෂත්‍ර ගණිත මිණිතාදි ශාස්ත්‍රයන් පිළිබඳ පොත් ද, ඉතිහාසය පිළිබඳ පොත් ද ප්‍රාකෘතාදි භාෂාන්තරයන් පිළිබඳ පොත් ස්වල්පයක් ද, සිංහල භාෂාවෙන් ලියවී තිබෙන, දැනට සොයාගත හැකි වැදගත් පොත් සියල්ල ම පාහේ ද, ඉංග්‍රීසියෙන් ලියවී තිබෙන බුද්ධ ධර්‍මය පිළිබඳ වූ ද, ඉතිහාස පුරාවිද්‍යාවන් පිළිබඳවූ ද පොත් හා නොයෙක් පරිවර්‍තනයන් ද, පාළි, සංස්කෘත, සිංහල, ඉංග්‍රීසි, වඞ්ග, හින්දි, උර්දු, මරාටි, ගුජරාති, ටිබැට්, දෙමළ, තෙලිඟු ආදී භාෂාවන් පිළිබඳ අකාරාදි කෝෂ ග්‍රන්ථ රාශියක් ද තවත් නොයෙක් මිශ්‍ර පොත් ද ඇත්තාහ. මෙයින් සමහරක් ඉතා ම දුර්‍ලභ පොත් වෙති.
මේ පොත් ටික ප්‍රසිද්ධ පුස්තකාලයක් වශයෙන් පටන්ගැනීමට ප්‍රමාණ වෙතත් මහ පොත්ගුලකැයි තෘප්තියට පැමිණීමට මෙයින් නුපුළුවන. නමුත් මගේ බලාපොරොත්තුව තිබෙන්නේ මෙය කවදා නමුත් පෙරදිග පොත්ගුල් අතුරෙහි අද්විතීය පුස්තකාලයක් බවට පැමිණවීමට ය. මෙහි පෙරදිග පොත් පමණක් නොව අපරදිග භාෂා ශාස්ත්‍රයන් පිළිබඳ පොතුත් යම්කිසි දවසක තැන්පත් කිරීමට බලාපොරොත්තුව තිබේ. කොළඹ නගරයෙහි මෙවැනි සියල්ලෙන් සම්පූර්‍ණ වූ නිදහස් පොත්ගුලක් ඇති වී නම් එය ශාස්ත්‍රාභිලාෂීන්ට මහත් ප්‍රයෝජනයක් වේ. තාපසවරුන්ගේ වාසස්ථානයක තිබෙන එවැනි පොත්ගුලකට නිතර කියවීමට පැමිණීම තරුණයන්ගේ ඉගෙනීම පමණක් නොව ආදර්‍ශානුකූල වූ හික්මීම ද ඇති වීමට අසහායෝපකාරී වේ.
මෙසේ මතුවට බලාපොරොත්තුවන මහත් කටයුතු සිදුවීමට නම් මෙය පාලනය කිරීමට සුදුසු සභාවක් ඇතිවිය යුතු වේ. ඒ සභාවට පොදු ජනයා ගේ ආධාරය ද ආණ්ඩුවේ ආරක්ෂාව හා අනුබලය ද වුවමනා වේ. පොදු වැසියාගේ යහපතට හේතුවන යමක් ආරම්භ කිරීම හා දියුණු කිරීමත් සාධාරණ ඉංග්‍රීසි ආණ්ඩුවේ ප්‍රතිපත්තීන්ට එකඟ ය යි සිතමි. එබැවින් මතුවට පිහිටුවන්නට අදහස් කර තිබෙන පුස්තකාලය පාලක සභාවේ ගරු කටයුතු අනුශාසකයන් හැටියට මහලේකම් තුමා ද, අධ්‍යාපනාධ්‍යක්‍ෂතුමා ද, සමස්ත ශාස්ත්‍රශාලාවේ ප්‍රධානාචාර්‍ය්‍යතුමා ද, නගරාධිපතිතුමා හා නාගරිකසභා මේ කොට්ඨාසයේ නියෝජිතතුමා ද පත්කරගැනීමටත් අපේ බලාපොරොත්තුව තිබේ.
මෙහි සඳහන් වූ තාක් යහපත් කටයුතුවලට මුල පටන් ආධාර වූ ද මතුවට ආධාර දෙන බලාපොරොත්තුවෙන් දැන් මෙහි පැමිණසිටින්නා වූ ද සියලු භවතුන්ට ස්තූති පූර්‍වකව පින්දෙමින් සියලු සත්ත්‍වයෝ අවෛරී වෙත්වා! සියලු සත්ත්‍වයෝ නිරෝග වෙත්වා! සියලු සත්ත්‍වයෝ සුඛිත වෙත්වා! සියලු ෂතත්‍වයෝ ශාන්තියෙන් හා සෞභාග්‍යයෙන් යුක්ත වෙත්ව’යි ආශංසනය කෙරෙමින් මගේ කථාව මෙතෙකින් සමාප්ත කෙරෙමි.”
(උපුටා ගැනීම: සිංහල බෞද්ධයා ජූලි 26, 1924)

Quote “We highly appreciate the honour of your presence in our midst on this happy occasion; and we thank you sincerely for your kindness in accepting our invitation; and thus, giving encouragement to our present enterprise, which has for its ultimate goal the moral and intellectual development of the country.

Though much might be said on such an occasion I shall avail myself of the opportunity to speak a few words in connection with the library which you are about to declare open. Hitherto these books numbering about 2000, were my private property; but it is my earnest desire now to inaugurate a public library with these books as a nucleus, so that everyone may have access to it and benefit thereby.

When I left the Vidyodaya College, upon the completion of my course, about twenty years ago, though at that time I had not more than 100 books at my disposal, I had an insatiable longing for wide reading and in trying to satisfy the desire I was compelled to borrow extensively from others. Consequently, I was subjected to much hardship and inconvenience. Another difficulty which confronts the eager student in Ceylon is the scarcity of books in temple libraries, other than those on Buddhism. Even when the necessary books are to be found, it is next to impossible to obtain even a glance at them in peace, leaving alone opportunity for quiet study. These circumstances led me to launch upon the task of collecting books.

To us bhikkhus, mendicant members of the Order of the Buddha who live a life of voluntary poverty, entirely supported by the generosity of the Buddhist laity, and bound by religious rules in regards dealing with money, and other worldly matters, this laudable enterprise becomes an exceedingly difficult task. But I was not to be deterred by any obstacles from my resolution. It was my kamma to be able, slowly but steadily, to work towards the accomplishment of my cherished project.

I inherited from my revered father his entire library and consequently I was favoured with many valuable books presented by my mother and brothers.  My tiny library thus gradually developed. My relatives, dayakas, and other Buddhist well-wishers, who came to know of the deep interest I took in books, began to help my work by supplying me with books to the best of my ability. Two or three broadminded Christian friends of mine, were kind enough to present me with a series of valuable treatises on Sanskrit Grammar. Nor must I fail to mention the help I received from my brother bhikkhus, who also furnished me with books whenever possible.

I may also mention that the donation of the publications of the Pali Text Society which, of late, is being made to my library by the Hon. the Colonial Secretary, on behalf of the Government of Ceylon, is a royal gift, which I highly prize. So too do I consider the 27 volumes of the commentary of the Tipitaka (printed in Siamese characters) made by His Royal Highness, the crown prince of Siam, a very noble offering. The kind donation of the useful Simon Hewavitarne publication of the Tipitaka commentary have also enhanced the value of the library.

The books thus grew in number and I was pondering how they should be adequately arranged, preserved and safely housed… ” Unquote      [Times newspaper, July 16, 1924]

විමසුමක් තිබේද? තොරතුරු සොයා ගැනීමට උදවු අවශ්‍යද? පුස්තකාලයෙන් විමසන්න
Have a query? Need help finding information? Ask from the library